කාන්තා U19 ත්රිකෝණ තරගාවලියේ බංග්ලාදේශය පරදා ශ්රී ලංකාවට අවසන් පන්දුවේ ජයක්
ThePapareපුවත

පාකිස්තානයේ පැවැත්වෙන 2026 කාන්තා U19 T20 ත්රිකෝණ තරගාවලියේ තෙවැනි තරගයේදී ශ්රී ලංකාව බංග්ලාදේශය පරදා අවසන් පන්දුවේ උද්වේගකර ජයක් වාර්තා කළාය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ බංග්ලාදේශය තමන්ට ලැබුණු පන්දුවාර 20 තුළ 119/7ක් රැස් කළාය. බංග්ලාදේශ නායිකා සාදියා ඉස්ලාම් හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමඟින් පන්දු 22කින් ලකුණු 39ක් රැස් කරමින් වැඩිම ලකුණු ලබා ගත්තාය.
අසේනි තලගුණේ හා චමෝදි හේරත් කඩුලු දෙකක් බැගින් දවා ගනිමින්, ශ්රී ලංකා පන්දු යවන්නියන් බංග්ලාදේශය පාලනය කළහ.
ජය සඳහා ලකුණු 120ක් හඹා ගිය ශ්රී ලංකාවට ආරම්භක පිතිකාරිනිය සංජනා කවින්දිගේ ස්ථාවර ඉනිම සමඟින් හොඳ ආරම්භයක් ලැබුණි. හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් ඇතුළත් වූ ඉනිමකින් කවින්දි පන්දු 46කින් වටිනා ලකුණු 48ක් රැස් කළාය.
පන්දුවාර 13කින් 75/1ක් දක්වා පැමිණි ශ්රී ලංකාව තරගය සම්පූර්ණයෙන් තම අතට ගත් බවක් පෙනුණ ද, හදිසි කඩුලු වැටීමක් තරගයේ ස්වභාවය වෙනස් කළේය. ලකුණු 26ක් තුළ කඩුලු 4ක් වැටීමෙන් අවසන් පන්දුවාර දෙකේ ලකුණු 19ක් ලබා ගැනීමේ අවශ්යතාවකට ශ්රී ලංකාව මුහුණ දුන්නාය.
පීඩනය වැඩි වෙත්ම, අවසන් අවස්ථාවේදී ශ්රී ලංකා පිතිකාරිනියන් සිහිකල්පනාවෙන් ක්රීඩා කරමින් ඉනිමේ අවසන් පන්දුවේදී ඉලක්කය සපුරා ගත්හ.
කෙටි ලකුණු සටහන
බංග්ලාදේශය – 119/7 (20) සාදියා ඉස්ලාම් 39, අසේනි තලගුණේ 2/12, චමෝදි හේරත් 2/20
ශ්රී ලංකාව – 120/6 (20) සංජනා කවින්දි 48, විමෝක්ෂා බාලසූරිය 21, නිෂිතා අක්තර් 2/26
ප්රතිඵලය – ශ්රී ලංකාව කඩුලු 4කින් ජය ගත්තාය
ThePapare වාර්තාකරණය මත පදනම්ව
