සිනෙත්, සහන්ට මංගල T20I ඇරයුම්; වියස්කාන්ත් හා චමින්දු නැවත පිලට එක් වෙත්; පාකිස්තානයට එරෙහි T20I සංචිතය නම් කෙරේ
ThePapareපුවත

පාකිස්තානයට එරෙහිව ඉදිරියේදී පැවැත්වෙන තරග තුනකින් සමන්විත T20I තරගාවලිය සඳහා සාමාජිකයින් 15කගෙන් යුත් ශ්රී ලංකා සංචිතය ජාතික ක්රිකට් තේරීම් කමිටුව නම් කර ඇත. තරුණ වම්අත් ආරම්භක පිතිකරු සිනෙත් ජයවර්ධනට ජාතික T20I පිලට මංගල ඇරයුම ලැබී තිබේ.
ආක්රමණශීලී හා විශිෂ්ට පිතිකරණ දස්කම් ගණනාවක් දක්වමින් දේශීය ක්රිකට් තරගාවලීන්හි කතාබහට ලක් වූ ජයවර්ධන, ඒ හරහා ජාත්යන්තර මට්ටමේ අවස්ථාව දිනා ගත්තේය.
පළපුරුදු ඔෆ් දඟ පන්දු යවන තුන් ඉරියව් ක්රීඩක සහන් ආරච්චිගේටද ශ්රී ලංකා T20I සංචිතයට මංගල ඇරයුම ලැබී තිබේ. 2026 ආසියානු ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාවට නායකත්වය දෙන ආරච්චිගේ, සංචිතයට තවදුරටත් තුන් ඉරියව් විකල්ප එක් කරයි.
මේ අතර, මැණික්කටු දඟ පන්දු යවන විජයකාන්ත් වියස්කාන්ත් සහ වේග පන්දු යවන තුන් ඉරියව් ක්රීඩක චමින්දු වික්රමසිංහ, කලක් පිලෙන් බැහැරව සිටීමෙන් අනතුරුව නැවත T20I පිලට එක් වී තිබේ.
එංගලන්තයට එරෙහිව ශ්රී ලංකාව පසුගියදා පැවැත්වූ T20I තරගාවලියට ක්රීඩා කළ ක්රීඩකයින් කිහිප දෙනෙකු මෙම සංචිතයෙන් ඉවත් කර ඇත. පැතුම් නිසංක, චරිත් අසලංක, ජනිත් ලියනගේ සහ තරිඳු රත්නායක ඇතුළත් කර නොමැති අතර, වනිඳු හසරංග තුවාලයක් හේතුවෙන් අවස්ථාව අහිමි කර ගෙන තිබේ.
ශ්රී ලංකා පිරිමි ජාතික T20I සංචිතය ඔක්තෝබර් 4 වැනිදා පාකිස්තානය බලා පිටත් වන අතර, තරග තුනකින් සමන්විත එම තරගාවලිය ඔක්තෝබර් 9, 11 සහ 13 වැනි දිනවල රාවල්පිණ්ඩියේදී පැවැත්වීමට නියමිතය.
ශ්රී ලංකා T20I සංචිතය
- කුසල් මෙන්ඩිස් (නායක)
- කමිල් මිශාර
- සිනෙත් ජයවර්ධන
- ලහිරු උදාර
- සහන් ආරච්චිගේ
- කමිඳු මෙන්ඩිස්
- දසුන් ශානක
- චමින්දු වික්රමසිංහ
- දුනිත් වෙල්ලාලගේ
- මහීෂ් තීක්ෂණ
- විජයකාන්ත් වියස්කාන්ත්
- බිනුර ප්රනාන්දු
- නුවන් තුෂාර
- ඊශාන් මාලිංග
- දුෂ්මන්ත චමීර – ශාරීරික යෝග්යතාව අනුව
ThePapare වාර්තාකරණය මත පදනම්ව
