ඕස්ට්රේලියාව සහ නවසීලන්තය අතර T20I තරග ද ඇතුළත් කරමින් රෝස් බෝල් කුසලානය පුළුල් කෙරේ
ESPNcricinfoපුවත

1985 වසරේ සිට මෙම කුසලානය පිරිනමනු ලැබුවේ දෙපිල අතර ද්විපාර්ශ්වික එක්දින තරගාවලිවල ජයග්රාහකයන්ටය
1985 වසරේ සිට ඕස්ට්රේලියාවේ සහ නවසීලන්තයේ කාන්තා පිල් අතර එක්දින තරගාවලිවල ජයග්රාහකයාට පිරිනැමූ රෝස් බෝල් කුසලානය, දැන් T20I තරග ද ඇතුළත් වන පරිදි පුළුල් කර ඇත.
ඉරිදා නෝත් සිඩ්නි ඕවල් ක්රීඩාංගණයේදී ඇරඹෙන නවසීලන්තයේ තරග තුනකින් සමන්විත ඕස්ට්රේලියානු T20I සංචාරය, රෝස් බෝල් කුසලානයේ පළමු T20I අදියර වනු ඇත. 2027 මාර්තු මාසයේදී, නැවතත් ඕස්ට්රේලියාවේදීම පැවැත්වෙන එක්දින තරග තුනකින් සමන්විත තරගාවලියේදී දෙපිලට නැවත වරක් මෙම කුසලානය සඳහා තරග වදින්නට අවස්ථාව ලැබේ.
සුදු පන්දු ක්රීඩා ආකෘති දෙකෙහිම තරග ඇතුළත් රෝස් බෝල් තරගාවලිවලදී, සමස්තයක් ලෙස වැඩිම ජයග්රහණ ලබන පිලට කුසලානය හිමි වේ. තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත්, කුසලානය වත්මන් හිමිකරුවන් සතුව රැඳේ.
“රෝස් බෝල් කුසලානය වත්මන් සහ අතීත ක්රීඩිකාවන්ට විශාල අරුතක් ගෙන දෙන කීර්තිමත් කුසලානයක්. එයට තරග වැදීම ගැන අපි හැමදාමත් ලොකු ආඩම්බරයක් දැනෙනවා,” යැයි නවසීලන්තයේ හිටපු ක්රීඩිකාවක වන NZC හි ප්රධාන ක්රිකට් මෙහෙයුම් නිලධාරිනි කැතරින් කැම්බල් පැවසුවාය. “දැන් T20I ක්රිකට් තරග මෙතරම් විශාල ප්රමාණයක් ක්රීඩා කරන නිසා, රෝස් බෝල් කුසලානයේ වැදගත්කම රැක ගන්නටත්, අප සහ අපේ ඕස්ට්රේලියානු ප්රතිවාදීන් අතර ඉතිහාසය තවත් ගොඩනඟන්නටත් මේක විශිෂ්ට අවස්ථාවක්.”
රෝස් බෝල් කුසලානය සඳහා තරග වැදීමේ අවස්ථා පුළුල් වීම ගැන නවසීලන්ත නායිකා මෙලී කර් සතුටට පත්ව සිටියාය.
“රෝස් බෝල් කුසලානය නියෝජනය කරන්නේ කුමක්ද කියාත්, වයිට් ෆර්න්ස් කණ්ඩායමේ whakapapa [පෙළපත] තුළ එයට තියෙන වැදගත්කමත් අපි හැමෝම දන්නවා,” යැයි කර් පැවසුවාය. “වසර ගණනාවක් පුරා විශිෂ්ට ක්රීඩිකාවන් සහ පිල් ඒ වෙනුවෙන් සටන් කර තිබෙනවා. ඒ ඉතිහාසයෙන් කොටසක් අපිටත් හිමි කර ගන්න අවස්ථාව ලැබෙනවා නම් ඒක අපි ලොකුවට අගය කරනවා.”
2000 වසරේදී නවසීලන්තයෙන් රෝස් බෝල් කුසලානය යළි දිනා ගත් ඕස්ට්රේලියාව, එතැන් සිට අඛණ්ඩව එය තමන් සතුව තබා ගෙන ඇත. එම 3-0 ජයග්රහණයෙන් පසු ඕස්ට්රේලියාව 18 වතාවක් ජය ගෙන ඇති අතර, 2008-09 දී තරගාවලියක් 2-2 ලෙස සමව අවසන් විය. සමස්තයක් ලෙස, රෝස් බෝල් කුසලානය වෙනුවෙන් පැවති එක්දින තරගාවලි 31න් 26ක් ඕස්ට්රේලියාව ජය ගෙන ඇති අතර, නවසීලන්තය තුන් වතාවක් ජය ගෙන ඇති අතර තරගාවලි තුනක් ජය පරාජයෙන් තොරව අවසන් විය.
ඉදිරියේදී පැවැත්වෙන රෝස් බෝල් තරගාවලියේ T20I තරග තුනම ඔක්තෝබර් 18, 20 සහ 22 යන දිනවල නෝත් සිඩ්නි ක්රීඩාංගණයේදී පැවැත්වේ.
ESPNcricinfo වාර්තාකරණය මත පදනම්ව
