ලකුණු වෙත යන්න
sinhabet
නවතම

ඉතා විවිධාකාර වූ ද ඉතා දක්ෂ වූ ද පන්දු යවන ඒකකයක් ඇතැයි පයිබස් අෆ්ගනිස්ථානයට පසසයි

ESPNcricinfoපුවත

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති එක්දින ත්‍රිකෝණ තරගාවලිය පුරාම අෆ්ගනිස්ථානයේ පන්දු යැවීමේ දස්කම්හි ප්‍රධාන තරුව රෂීඩ් ඛාන් වුව ද, අනෙක් පන්දු යවන්නන්ට ද පිළිගැනීමක් ලැබිය යුතු යැයි පුහුණුකරු රිචඩ් පයිබස් පවසයි

සිකුරාදා ෂාර්ජා හිදී පැවති එක්දින ත්‍රිකෝණ තරගාවලියේ අවසන් මහා තරගයේ දී සිම්බාබ්වේ පහසුවෙන් පරදවමින් ජය ගැනීමෙන් අනතුරුව, සහාය දැක්වූ පන්දු යවන්නන් ද තම කාර්යභාරය මැනවින් ඉටු කළ බව අෆ්ගනිස්ථාන පුහුණුකරු රිචඩ් පයිබස් පැවසීය. කඩුලු හතකින් ලැබූ එම ජයට මග පෑදුවේ 3 for 41ක දස්කමක් දැක්වූ රෂීඩ් ඛාන් ය.

පන්දුවාර 43.3කදී ලකුණු 169කට සිම්බාබ්වේ සියලු දෙනා දැවී ගිය අතර, අෆ්ගනිස්ථානය පන්දුවාර 34.3කදී ඉලක්කය පසු කළේය. ඉබ්‍රාහිම් සද්රාන් නොදැවී ලකුණු 70ක් ද නායක රහ්මත් ෂා ලකුණු 43ක් ද රැස් කළේය. එය එතරම් පහසු වීමට ප්‍රධාන හේතුව වූයේ රෂීඩ් ය. අගෝස්තු මාසය දක්වා ආපසු දිවෙන පරිදි, අඛණ්ඩව එක්දින තරග හයකදී අවම වශයෙන් කඩුලු තුනක් බැගින් දවා ගැනීමේ දස්කම ඔහු දැක් වූ අතර, පාකිස්තානයේ උමර් ගුල්ට පසුව එම දස්කම පෙන්වූ දෙවැනි පන්දු යවන්නා ඔහු වේ.

“මුළු සතිය පුරාම දඟ පන්දු යැවීම විශිෂ්ට විය,” යැයි අවසන් මහා තරගයෙන් පසු පයිබස් පැවසීය. “අපට අපූරු දඟ පන්දු යවන්නන් කිහිප දෙනෙක් සිටිනවා. රෂීඩ් අසමසම වුණත් ඔහු තනිවම නෙවෙයි. ඉතා විවිධාකාර වූ, නමුත් ඉතා දක්ෂ පන්දු යවන ඒකකයක සහාය ඔහුට ලැබෙනවා. ඔවුන් එකිනෙකාට කඩුලු දවා ගන්න උදව් කරනවා. ඒක ලොකු දෙයක්.”

මෑතකදී අෆ්ගනිස්ථානයේ ටෙස්ට් නායකත්වය භාර ගත් රහ්මත්, දැන් අඛණ්ඩ එක්දින ජයග්‍රහණ හතක් පිලට ලබා දී ඇත.

“[රහ්මත්] නායකයෙකු ලෙස විශිෂ්ටයි. ඉතා සන්සුන්, ස්ථිර ක්‍රීඩකයෙක්. ඔහු බලවත් ලෙස නායකත්වය දෙනවා. හැමෝම සමඟ එකතු වෙනවා. ඔහුට සතුටින් ඉන්න කණ්ඩායමක් තියෙනවා,” යැයි පයිබස් පැවසීය. “නායකයෙකු ලෙස පිතියෙන් ද එම වගකීම දැරීම ඒ තරමටම වැදගත් කියා මම හිතනවා. [අගෝස්තුවේ] අයර්ලන්ත සංචාරයේ සිට අපි ඒක දකිනවා. [බංග්ලාදේශයට එරෙහි එක් වරක් පමණක් පැවති] ටෙස්ට් තරගයේ ඔහුගේ දස්කමට ලැබිය යුතු පිළිගැනීම ලැබුණේ නැහැ. නමුත් ඔහුගේ ශතකය සහ අර්ධ ශතකය විශිෂ්ට වුණා. ඔහු අඛණ්ඩව එක්දින ජයග්‍රහණ හතක් ලබා තිබෙනවා.

“හැමවිටම මෙච්චර මිහිරි වෙන්නේ නැහැ. නමුත් ඔහු ඉතාම හොඳ ආරම්භයක් ලබා දී තිබෙනවා. ඉතා ධනාත්මක හා ආනුභාව ලබා දෙන ආකාරයෙන් ඔහු කණ්ඩායමට නායකත්වය දෙයි කියා මට කිසිම සැකයක් නැහැ.”

පයිබස්: ඉහළ පෙළේ පිල් සමඟ නිතර ක්‍රීඩා කිරීම ‘සැබවින්ම තීරණාත්මකයි’

ඉහළ ශ්‍රේණිගත පිල් සමඟ වඩාත් නිතර ක්‍රීඩා කළ හොත් පමණක් අෆ්ගනිස්ථානයට සියලු ආකෘතීන් හි දියුණු විය හැකි බව පයිබස් පෙන්වා දුන්නේය.

“අපට විශිෂ්ට ක්‍රීඩකයන් ඉන්නවා. අපට විශිෂ්ට කණ්ඩායමක් ගොඩනගන්න ඕනේ,” යැයි ඔහු පැවසීය. “මේ පිල වර්ධනය වෙමින් පවතින කණ්ඩායමක්. ඉහළ පෙළේ පිල් සමඟ අඛණ්ඩව ක්‍රීඩා කිරීමේ අවස්ථාව අනෙක් පූර්ණ සාමාජික පිල්වලට ලැබෙන තරමේ ගුණාත්මක අවස්ථාවක් අපට ලැබෙන්නේ නැහැ. පිලක් ලෙස අපේ දියුණුවට ඒක සැබවින්ම තීරණාත්මකයි කියා මම හිතනවා.

“අපි ක්‍රීඩා කරන පිල්වලට එරෙහිව ඉදිරිපත් වෙලා ඉතා හොඳ වැඩක් කරන්නම ඕනේ. බංග්ලාදේශය ඉතා අනතුරුදායක පිලක්. සිම්බාබ්වේට [අෆ්ගනිස්ථානය] පරදවන්න අමාරු වෙන්න ඇති. නමුත් මේ තරගාවලියේ පළමු තරගයේ දී සිම්බාබ්වේ බංග්ලාදේශය පෙරළා දමා ඉතා සම්පූර්ණ දස්කමක් දැක්වූවා. ඒ නිසා අපේ අයගේ කිසිම ගෞරවයක් අඩු කරන්න මම කැමති නැහැ.”

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩා කිරීම තමන්ගේම ගැටලු මාලාවක් ද ගෙන එයි. විශේෂයෙන් රස්නය සහ ආර්ද්‍රතාවය. ත්‍රිකෝණ තරගාවලියේ දී දහවල් කාලයේ ක්‍රීඩකයන් දුෂ්කරතාවයට පත්වනු දක්නට ලැබුණු අතර, අවසන් මහා තරගයේ දී කිහිප දෙනෙක්ම ටිකක් දිව ගිය පසු දණ ගසා සිටියහ.

“රස්නය සහ ආර්ද්‍රතාවය දරාගන්න පුළුවන් වුණු නිසා ළමයින්ට ගෞරවය හිමි විය යුතුයි. මේ සතියේ ඔවුන් අසමසම වුණා,” යැයි පයිබස් පැවසීය. “හැමෝම සුවපත්ව තබා ගනිමින් තේරීමට පූර්ණ සංචිතයක් තිබෙන බව තහවුරු කරන්න වැඩ කළ පසුබිම් කාර්ය මණ්ඩලයට ද ගෞරවය හිමි විය යුතුයි. ඒක සැබවින්ම ධනාත්මකයි කියා මම හිතනවා. ඒක ඔවුන්ගේ ශරීර සුවතා වැඩවල සාක්ෂියක්.

“පිල හොඳ තැනක ඉන්නවා කියා මම හිතනවා. අයර්ලන්තයේ ධනාත්මක තරගාවලියකින් පසුවයි අපි ආවේ. විවිධ තත්ත්වවලට අනුවර්තනය විය හැකි පිලක් ගොඩනගන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. ලෝකයේ ඕනෑම තත්ත්වයක් යටතේ දස්කම් දැක්විය හැකි පිලක් අපට හදාගන්න ඕනේ. සංචිතයේ යම් ගැඹුරක් ලැබෙන්න පටන් අරන් තියෙනවා, ක්‍රීඩකයන් ඉදිරිපත් වෙලා දස්කම් දක්වනවා කියා මම හිතනවා.”

පසුගිය සති කිහිපය තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අෆ්ගනිස්ථානයට කැපී පෙනෙන පුද්ගල දස්කම් කිහිපයක් ලැබිණි. ටෙස්ට් තරගයේ දී රහ්මත් සහ සෙදිකුල්ලා අටාල් ශතක රැස් කළ අතර, වේග පන්දු යවන්නන් වන මොහොමඩ් සලීම් සහ යමීන් අහමඩ්සායි දිගු පන්දු යැවීම් කළහ. ඉන්පසු ත්‍රිකෝණ තරගාවලියේ දී රෂීඩ් සහ ඉබ්‍රාහිම් විශිෂ්ට දස්කම් දැක්වූහ.

“ක්‍රීඩකයන් තම වැඩේට සැබවින්ම ඇලී සිටිනවා. තමන්ගේ කාර්යභාරයේ දී කළ යුතු දේ ඉටු නොකළ විට, ඒ හිඩැස් පුරවන්න අනෙක් ක්‍රීඩකයන් එන තුරු ඔවුන් වගකීම පවරන්නේ නැහැ,” යැයි පයිබස් පැවසීය. “ඒක සැබවින්ම සතුටුදායකයි. වේග පන්දු යැවීමේ සිට හැම අංශයකම අඛණ්ඩතාව, අබුඩාබි හි පන්දු යැවීම, මෙහි සමතලා කඩුලු මත පන්දු යැවීම – අපි තරමක් හොඳින් කරලා තියෙනවා කියා මම හිතනවා. T20 ක්‍රීඩකයන් දකින්නත්, එහි සංචිතයේ අපට ඉන්නේ කවුරුන්ද කියා බලන්නත් මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. ස්ථාන සඳහා තරගයක් අපට තිබෙනවා.”

මොහොමඩ් ඉසාම් Cricinfo හි බංග්ලාදේශ වාර්තාකරු වේ. @isam84

ESPNcricinfo වාර්තාකරණය මත පදනම්ව