මැතිව් වේඩ් සිය BBL ක්රීඩා දිවියෙන් සමුගනී
ESPNcricinfoපුවත

හරිකේන්ස් නියෝජනය කරමින් තරග 90ක් ඇතුළුව BBL තරග 119කට ක්රීඩා කළ වේඩ්, පුහුණුකරු වශයෙන් සිය ගමන කෙරෙහි අවධානය යොමු කරමින් ක්රීඩාවෙන් ඉවත් වේ.
දැනටමත් ඕස්ට්රේලියාවේ සුදු පන්දු පිතිකරණ පුහුණුකරු ධුරය හොබවන මැතිව් වේඩ්, පුහුණුකරු වශයෙන් සිය ගමන කෙරෙහි අවධානය යොමු කරමින් BBL ක්රිකට් ක්රීඩාවෙන් විශ්රාම ගැනීම ප්රකාශයට පත් කළේය.
පසුගිය වසරේ හොබාට් හරිකේන්ස් නියෝජනය කරමින් BBL තරගවලට ක්රීඩා කරමින් සිටියදීම වේඩ් ඕස්ට්රේලියානු පිරිමි කණ්ඩායමට උපදේශකයෙකු ලෙස කටයුතු කළ අතර, 2026-27 වාරයට පෙර ක්රීඩා කිරීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට තීරණය කර ඇත.
2024 T20 ලෝක කුසලානයෙන් අනතුරුව ජාත්යන්තර ක්රිකට් ක්රීඩාවෙන් විශ්රාම ගිය වේඩ්, එම තරගාවලියේ ඉතිහාසයේ ප්රධාන චරිතයක් ලෙස BBL තරගවලින්ද සමුගනී. ෂේන් වෝන් සමඟ එක්ව 2011-12 ආරම්භක වාරයේ මෙල්බර්න් ස්ටාර්ස් පිලෙන් ඔහුගේ ක්රීඩා දිවිය ඇරඹීය. ස්ටාර්ස් නියෝජනය කරමින් තරග 16කටත්, මෙල්බර්න් රෙනගේඩ්ස් නියෝජනය කරමින් තරග 13කටත් ක්රීඩා කළ ඔහු, නැවත උපන් බිම වන ටැස්මේනියාවට පැමිණ හරිකේන්ස් නියෝජනය කරමින් තරග 90කට ක්රීඩා කළේය.
BBL තරගාවලියේ සර්වකාලීන ලකුණු ලැයිස්තුවේ ඔහු නවවැනි ස්ථානයේද, දැවීම් අනුව පස්වැනි ස්ථානයේද සිටී. හරිකේන්ස් වෙනුවෙන් ඔහුට වඩා වැඩි ලකුණු ප්රමාණයක් රැස් කර ඇත්තේ බෙන් මැක්ඩර්මට් සහ ඩාර්සි ෂෝට් පමණක් වන අතර, ඔහුගේ ක්රීඩා දිවියේ උපරිමය වූ නොදැවී ලකුණු 130ට වඩා වැඩි ඉනිමක් කිසිවෙකු ගොඩනඟා නොමැත. 2024-25 වාරයේ ඔවුන්ගේ ප්රථම BBL ශූරතාවේදීද ඔහු ප්රධාන චරිතයක් විය.
“ඔබේ පිලේ සිටිය යුතුයි කියා හැමවිටම ඔබ කැමති වන ක්රීඩකයන් අතරින් කෙනෙක් තමයි වේඩි,” යැයි හරිකේන්ස් පුහුණුකරු ජෙෆ් වෝන් පැවසීය.
“ක්රීඩා පිටියට පිවිසෙන හැම වතාවකම ඔහු අතිශය අධිෂ්ඨානයෙන් තරග කළා, තරගයක ගමන් මඟ ඉතා ඉක්මනින් වෙනස් කරන්න ඔහුට හැකියාව තිබුණා. නමුත් ඒ තරමටම වැදගත් වෙන්නේ ඔහු වටා සිටි ක්රීඩකයන්ට ඔහු ලබා දුන් දේ.
“ඔහුට විශිෂ්ට ක්රිකට් මොළයක් තියෙනවා. ඔහුගේ දැනුම බෙදා දෙන්නත්, වටා සිටින අයට වඩා හොඳ වෙන්න අභියෝග කරන්නත් ඔහු හැමවිටම කැමතියි.
“මැට් සමඟ එක්ව ක්රීඩා කිරීමෙන් ප්රයෝජන ලැබූ ක්රීඩකයන් ගොඩක් අපේ පද්ධතිය තුළ ඉන්නවා. මම හිතනවා ඒක මෙහිදී ඔහු තබා යන උරුමයේ වැදගත් කොටසක් වෙයි කියලා.”
හරිකේන්ස් උසස් කාර්යසාධන කළමනාකරු සැලිආන් බීම්ස්ද වේඩ්ට ප්රණාමය පිරිනැමුවාය.
“දිගු කාලයක් පුරා හරිකේන්ස් පිලට සහ ටැස්මේනියානු ක්රිකට් ක්රීඩාවට මැතිව් අතිශය වැදගත් චරිතයක් වුණා,” යැයි බීම්ස් පැවසුවාය.
“ඔහුගේ වාර්තා ඔහු ගැන කතා කරනවා. නමුත් ඔහු වටා සිටි ක්රීඩකයන්ට සහ පුද්ගලයන්ට ඔහු කළ බලපෑම හැමවිටම සංඛ්යාලේඛනවලින් පෙන්නුම් කරන්නේ නැහැ.
“ඔහු දැඩි තරගකාරියෙක්, නායකයෙක් සහ හැමවිටම උසස් ප්රමිතීන් බලාපොරොත්තු වූ කෙනෙක්. ක්රීඩාවේ ඉහළම මට්ටමේ ඔහුගේ අත්දැකීම් අපේ ක්රීඩක කණ්ඩායමට මිල කළ නොහැකි දායකත්වයක් වුණා.
“මැට් හරිකේන්ස් පිලට අතිවිශාල දායකත්වයක් ලබා දුන්නා. සමාජයට ඔහු ලබා දුන් සියල්ල ගැන අපි අතිශය කෘතඥ වෙනවා.
ESPNcricinfo වාර්තාකරණය මත පදනම්ව
