ප්රධාන පිරිමි තරගාවලිවල ආකෘති වෙනස් කිරීමට ICC පියවර ගනී
ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයපුවත
එඩින්බරෝහි පැවති වාර්ෂික මහා සභා රැස්වීමේදී 2027 ICC පිරිමි ක්රිකට් ලෝක කුසලානයේ සහ 2028 ICC පිරිමි විස්සයි20 ලෝක කුසලානයේ තරග ආකෘති වැඩිදියුණු කිරීමට ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය අනුමැතිය ලබා දී තිබේ.
ආශ්රිත සාමාජික රටවල නියෝජිතයන් තිදෙනකු ද ඇතුළත් ICC අධ්යක්ෂ මණ්ඩලය, ICC පිරිමි ක්රිකට් ලෝක කුසලානයේ සහ ICC පිරිමි විස්සයි20 ලෝක කුසලානයේ තරග ආකෘති සම්බන්ධයෙන් ප්රධාන විධායක නිලධාරීන්ගේ කමිටුවෙන් ලැබුණු නිර්දේශ අනුමත කළේය. එම කමිටුව පූර්ණ සහ ආශ්රිත සාමාජිකයන්ගේ ප්රධාන විධායක නිලධාරීන් හා නියෝජිතයන්ගෙන් සමන්විතය.
වඩාත් අර්ථවත් තරග ඇති කිරීම, තරගකාරී මට්ටම ඉහළ නැංවීම, තරගාවලි දෙකෙහිම තරග ව්යුහය ශක්තිමත් කිරීම සහ ක්රීඩකයන්ටත් ප්රේක්ෂකයන්ටත් ලැබෙන තරගාවලි අත්දැකීම වැඩිදියුණු කිරීම සඳහා මෙම වෙනස්කම් හඳුන්වා දී තිබේ.
2027 ICC පිරිමි ක්රිකට් ලෝක කුසලානය
දකුණු අප්රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව සම සත්කාරකත්වය දරන 2027 ICC පිරිමි ක්රිකට් ලෝක කුසලානයට පෙර පරිදිම කණ්ඩායම් 14ක් සහභාගි වන අතර, අවසන් තරග වටයට පෙර අදියර තුනක නව ආකෘතියක් ක්රියාත්මක වේ. පළමු වටය - සුදුසුකම් ලැබූ කණ්ඩායම් 14 අතර පහළම ස්ථාන තුනේ සිටින කණ්ඩායම්, එකිනෙකා සමඟ තරග වදින සුපිරි තරග මාලාවකට එක්වනු ඇත. එහි ජයග්රාහකයා ඊළඟ වටයට පිවිසෙයි. දෙවැනි වටය (තරග 30ක්) - ඉන්පසු ඉතිරි කණ්ඩායම් 12, කණ්ඩායම් හය බැගින් වූ කාණ්ඩ දෙකකට බෙදා, එක් එක් කාණ්ඩය තුළ සියලු කණ්ඩායම් එකිනෙකා සමඟ තරග වදිනු ඇත. සෑම කාණ්ඩයකම මුල් ස්ථාන තුන හිමිකරගන්නා කණ්ඩායම් සහ කාණ්ඩ දෙකම සැලකූ විට ඊළඟ ඉහළම ස්ථානයේ සිටින කණ්ඩායම සුපිරි 7 වටයට සුදුසුකම් ලබනු ඇත. තෙවැනි වටය — සුපිරි 7 (තරග 21ක්) - මෙම වටයේ කණ්ඩායම් හතම එකිනෙකා සමඟ තරග වදින අතර, ඉහළම ස්ථාන හතර හිමිකරගන්නා කණ්ඩායම් අවසන් පූර්ව තරගවලට සුදුසුකම් ලබයි. පළමු ස්ථානය හිමිකරගන්නා කණ්ඩායම සිව්වැනි ස්ථානයේ කණ්ඩායම සමඟ තරග වදින අතර, දෙවැනි සහ තෙවැනි ස්ථානවල කණ්ඩායම් අනෙක් අවසන් පූර්ව තරගයේදී හමුවනු ඇත.
ඉන්දියාවේ පැවති පසුගිය 2023 ICC පිරිමි ක්රිකට් ලෝක කුසලානය ජයගත්තේ ඕස්ට්රේලියාවයි. //Getty Images//
2028 ICC පිරිමි විස්සයි20 ලෝක කුසලානය
ඕස්ට්රේලියාව සහ නවසීලන්තය සම සත්කාරකත්වය දරන 2028 ICC පිරිමි විස්සයි20 ලෝක කුසලානය ද කණ්ඩායම් 20ක තරගාවලියක් ලෙස පැවැත්වේ. සංශෝධිත තරග ආකෘතිය සැලසුම් කර ඇත්තේ තරගාවලියේ දෙවැනි අදියරට පිවිසෙන කණ්ඩායම් සංඛ්යාව වැඩි කිරීමටය. ඒ හරහා සුපිරි 10 වටයේ නැගී එන කණ්ඩායම්වල නියෝජනය පුළුල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කාණ්ඩ වටය (තරග 30ක්) - සහභාගි වන කණ්ඩායම් 20 දැන් කණ්ඩායම් හතර බැගින් වූ කාණ්ඩ පහකට බෙදනු ඇත. ඒ අනුව 2026 ICC පිරිමි විස්සයි20 ලෝක කුසලානයේ භාවිත කළ කණ්ඩායම් පහ බැගින් වූ කාණ්ඩ හතරක ආකෘතිය වෙනස් වේ. සෑම කාණ්ඩයකම මුල් ස්ථාන දෙක හිමිකරගන්නා කණ්ඩායම් සුපිරි 10 වටයට පිවිසෙයි.
සුපිරි 10 (තරග 20ක්) - මෙම වටයේ කණ්ඩායම් පහ බැගින් වූ කාණ්ඩ දෙකක් ඇති අතර, එක් එක් කාණ්ඩයේ සියලු කණ්ඩායම් එකිනෙකා සමඟ තරග වදිනු ඇත. සෑම සුපිරි 10 කාණ්ඩයකම ජයග්රාහකයා සෘජුවම අවසන් පූර්ව තරගවලට සුදුසුකම් ලබයි. පිළිමලුන් පිටුදැකීමේ තරග (තරග 2ක්) - ඉතිරි අවසන් පූර්ව ස්ථාන දෙක නව පිළිමලුන් පිටුදැකීමේ වටයකින් තීරණය කෙරේ. එහිදී සෑම සුපිරි 10 කාණ්ඩයකම දෙවැනි ස්ථානය හිමිකරගන්නා කණ්ඩායම, අනෙක් කාණ්ඩයේ තෙවැනි ස්ථානය හිමිකරගන්නා කණ්ඩායමට මුහුණ දෙයි.
එම පිළිමලුන් පිටුදැකීමේ තරගවල ජයග්රාහකයන් අවසන් පූර්ව වටයේ ඉතිරි ස්ථාන සම්පූර්ණ කරනු ඇත. අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරගය දැනට පවතින ආකෘතියට අනුවම පැවැත්වේ.
2026 ICC පිරිමි විස්සයි20 ලෝක කුසලානය ජයගත් ඉන්දියාව සිය තෙවැනි ශූරතාව දිනාගනිමින් තරගාවලියේ සාර්ථකම කණ්ඩායම බවට පත්විය. //Getty Images//
2028 ICC පිරිමි විස්සයි20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ ක්රමවේදය
දැනටමත් සුදුසුකම් ලබා ඇති කණ්ඩායම් - 2026 විස්සයි20 ලෝක කුසලානයේ දස්කම් සහ කණ්ඩායම් ශ්රේණිගත කිරීම් මත පදනම්ව කණ්ඩායම් 12ක් දැනටමත් 2028 තරගාවලියේ ස්ථාන තහවුරු කරගෙන ඇත: ඇෆ්ගනිස්තානය, ඕස්ට්රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්රිකාව, ශ්රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ.
ගෝලීය සුදුසුකම් ලැබීමේ තරගාවලිය – 2028 විස්සයි20 ලෝක කුසලානයේ ඉතිරි ස්ථාන අට, කණ්ඩායම් 16කින් සමන්විත ගෝලීය සුදුසුකම් ලැබීමේ තරගාවලියක් හරහා පිරවෙනු ඇත.
2026 තරගාවලියට සහභාගි වූ නමුත් ස්වයංක්රීයව සුදුසුකම් ලබා නොගත් කණ්ඩායම් අටක්, කණ්ඩායම් 16ක ගෝලීය සුදුසුකම් ලැබීමේ තරගාවලියට සෘජුවම පිවිසෙනු ඇත. ඒවා නම්: කැනඩාව, ඉතාලිය, නැමීබියාව, නේපාලය, නෙදර්ලන්තය, ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්යය සහ එක්සත් ජනපදයයි.
• විශේෂ අවස්ථාව: 2026 තරගාවලියට සහභාගි වීම හා සම්බන්ධ සුවිශේෂී තත්ත්වයන් හේතුවෙන් ස්කොට්ලන්තයට සෘජු ප්රවේශය ලැබෙන්නේ ගෝලීය සුදුසුකම් ලැබීමේ තරගාවලියට නොව, යුරෝපා කලාපීය අවසන් තරගාවලියටය.
ගෝලීය සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ඉතිරි ස්ථාන අට කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලි හරහා පිරවෙනු ඇත. • අප්රිකාව – ස්ථාන 2ක් • ආසියාව – ස්ථාන 2ක් • යුරෝපය – ස්ථාන 2ක් • ඇමරිකා කලාපය – ස්ථාන 1ක් • නැගෙනහිර ආසියා පැසිෆික් කලාපය – ස්ථාන 1ක්
ගෝලීය සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී සෑම කලාපයකින්ම ඉහළම ස්ථානය හිමිකරගන්නා කණ්ඩායම සහ සමස්ත තරගාවලියේ ඊළඟ ඉහළම ස්ථාන තුන හිමිකරගන්නා කණ්ඩායම්, අවම දක්ෂතා නිර්ණායකවලට යටත්ව 2028 ICC පිරිමි විස්සයි20 ලෝක කුසලානයට සුදුසුකම් ලබනු ඇත.
ICC සංවර්ධන කමිටුවේ සහ ප්රධාන විධායක නිලධාරීන්ගේ කමිටුවේ නිර්දේශ අනුව මෙම නව ප්රධාන තරගාවලියට අධ්යක්ෂ මණ්ඩලයේ එකඟතාව ලැබී තිබේ. කෙසේ වෙතත්, නොවැම්බර් රැස්වීම්වලදී ICC මූල්ය හා වාණිජ කටයුතු කමිටුවේ සමාලෝචනයෙන් පසු අධ්යක්ෂ මණ්ඩලය ඊට අවසන් අනුමැතිය ලබා දෙනු ඇත.
ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය වාර්තාකරණය මත පදනම්ව
