2026 අගෝස්තු මාසයේ ICC දක්ෂතම ක්රිකට් ක්රීඩකයා සම්මානය සඳහා නිර්දේශිත නම් ප්රකාශයට පත් කෙරේ
ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයපුවත
සොනාල් දිනූෂ (ශ්රී ලංකාව)
අගෝස්තු මාසයේදී ශ්රී ලංකාව වෙනුවෙන් පිත්තෙන් විශිෂ්ට දස්කම් දැක්වූ සොනාල් දිනූෂ, ඉන්දියාවට එරෙහි තරග දෙකකින් සමන්විත ICC ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය පුරාම සිය ආධිපත්යය පතුරුවා හැරියා.
ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී අගනා ශතකයක් රැස් කරමින් සාර්ථක ආරම්භයක් ලබාගත් මේ වමත් පිතිකරුවා, සත්කාරක ශ්රී ලංකාව පරාජයට පත්වුවද දෙවැනි ඉනිමේදී සටන්කාමී ලකුණු 84ක් රැස් කළා. දෙවැනි ටෙස්ට් තරගයේදී තවත් ඉහළ දස්කම් දැක්වූ ඔහු පළමු ඉනිමේදී ලකුණු 103ක් සහ දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 133ක් ලබා ගනිමින්, කොළඹදී පැවැති එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්රී ලංකාවට දායක වුණා.
තරගාවලිය පුරාම අඛණ්ඩව ඉහළ ලකුණු සංඛ්යා රැස් කළ දිනූෂ, ටෙස්ට් තරග දෙක නිමා කළේ 140.00ක විශිෂ්ට සාමාන්යයක් සමඟින් ලකුණු 420ක් ලබා ගනිමිනුයි. ඒ අනුව ඔහු කණ්ඩායම් දෙකේම පිතිකරුවන් අතර වැඩිම ලකුණුලාභියා බවට පත්වූයේ සෙසු පිතිකරුවන්ට වඩා පැහැදිලි ඉදිරියක් ලබා ගනිමින්.
ඉහළ පෙළ පිතිකරුවකු ලෙස ඔහු අඛණ්ඩව දැක්වූ දස්කම් තරග දෙකේදීම ශ්රී ලංකා ඉනිමට ශක්තිමත් පදනමක් සැපයූ අතර, තරගාවලිය පුරා ඉන්දියාවට ප්රබල අභියෝගයක් එල්ල කිරීමටද එය තීරණාත්මක වුණා.
ඔලී රොබින්සන් (එංගලන්තය)
පාකිස්තානයට එරෙහිව සිය මව්බිමේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එංගලන්තය ලබාගත් ප්රබල ආරම්භයේ ප්රධාන නියමුවා වූයේ ඔලී රොබින්සන්. ඔහු පිට පිට තරගවලදී සංචාරක කණ්ඩායමේ පිතිකරණ පෙළ බිඳ දැමුවා.
පළමු ටෙස්ට් තරගයේදී සිය ක්රිකට් දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කළ මේ වේග පන්දු යවන්නා 8/80ක දස්කමක් දැක්වූ අතර, දෙවැනි ටෙස්ට් තරගයේදී එයද අභිබවා යමින් 8/35ක් වාර්තා කළා. එම තරග දෙකම ජයගත් එංගලන්තය තරගාවලියේ 2-0ක් ලෙස පෙරමුණ ගත්තා.
අගෝස්තු මාසය නිමාවන විට ටෙස්ට් තරග දෙකේදී 7.18ක විශිෂ්ට සාමාන්යයක් යටතේ කඩුලු 16ක් දවාගෙන සිටි රොබින්සන්, මාසයේ දක්ෂතම ක්රීඩකයා සම්මානය සඳහා ප්රබල හිමිකම් පෑවා.
නව පන්දුවෙන් ඔහු එල්ල කළ ප්රහාරයත්, පන්දු යැවීම පුරා පවත්වාගත් පාලනයත් එංගලන්තයේ ටෙස්ට් ජයග්රහණ දෙකටම තීරණාත්මක වුණා.
හසන් මහ්මුද් (බංග්ලාදේශය)
බංග්ලාදේශයට ඓතිහාසික මාසයක් වූ අගෝස්තුවේදී හසන් මහ්මුද් ප්රධාන භූමිකාවක් ඉටු කළේ, ඔස්ට්රේලියානු භූමියේ සිය පළමු ටෙස්ට් ජයග්රහණය කරා කණ්ඩායම රැගෙන යමින් පන්දු යැවීමේ බලඇණියට නායකත්වය දෙමිනුයි.
ඩාවින්හිදී විශිෂ්ට දස්කම් දැක්වූ මේ වේග පන්දු යවන්නා පළමු ඉනිමේදී 6/55ක් සහ දෙවැනි ඉනිමේදී 3/56ක් වාර්තා කරමින් බංග්ලාදේශයේ ජයග්රාහී ගමනට පෙරමුණ ගෙන සිය කණ්ඩායමට ඓතිහාසික ජයග්රහණයක් තහවුරු කළා.
තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය අවසානයේ හසන් මහ්මුද් 19.77ක සාමාන්යයක් යටතේ කඩුලු 9ක් දවාගෙන තිබුණා.
ඩාවින්හිදී ඔහු දැක්වූ දස්කම්, ඔස්ට්රේලියාවේදී බංග්ලාදේශය ලැබූ එම පෙරළිකාර ජයග්රහණයට මඟ පෑදූ තීරණාත්මක පන්දු යැවීමක් ලෙස ඉතිහාසයට එක් වනු ඇති.
ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය වාර්තාකරණය මත පදනම්ව
