ආසියානු කුසලාන අවසන් තරගයේ දී Dulaniට පිටියෙන් ඉවත් ව යන ලෙස ඉඟි කිරීම හේතුවෙන් Gaudට දඬුවම්
ESPNcricinfoපුවත

ශ්රී ලංකාවට එරෙහි අවසන් පූර්ව තරගයේ දී නියමිත කාලයට වඩා මන්දගාමී පන්දුවාර වේගයක් පවත්වා ගැනීම හේතුවෙන් පාකිස්තාන ක්රීඩිකාවන්ට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් 5%ක දඩයක් නියම කෙරුණා
Dubaiහි පැවති කාන්තා T20 ආසියානු කුසලාන අවසන් තරගයේ දී ශ්රී ලංකා ආරම්භක පිතිකාරිනී Imesha Dulani දැවී යාමෙන් පසු ඇයට පිටියෙන් ඉවත් ව යන ලෙස ඉඟි කිරීම හේතුවෙන් ඉන්දීය වේගපන්දු යවන ක්රීඩිකා Kranti Gaudට ඇගේ තරග ගාස්තුවෙන් 10%ක දඩයක් නියම කර තිබෙනවා. Gaudගේ විනය වාර්තාවට එක් අප්රසාද ලකුණක් ද එක් කර තිබෙනවා. මාස 24ක කාලයක් තුළ ඇය සිදු කළ පළමු වරද මෙයයි.
මෙම සිදුවීම ශ්රී ලංකා ඉනිමේ පළමු පන්දුවාරයේ දී සිදු වූ අතර, පිතිකාරිනිය දවා ගැනීමෙන් පසු Gaud ක්රීඩාගාරය දෙසට ඉඟි කළා. ජාත්යන්තර තරගයක දී පිතිකරුවකු හෝ පිතිකාරිනියක දැවී ගිය පසු “ඔහු හෝ ඇය හෑල්ලුවට ලක් කරන හෝ ආක්රමණශීලී ප්රතිචාරයක් ඇති කළ හැකි භාෂාවක්, ක්රියාවක් හෝ ඉඟියක් භාවිත කිරීම” සම්බන්ධ ICC ක්රීඩක සහ ක්රීඩක සහායක කාර්ය මණ්ඩල ආචාරධර්ම සංග්රහයේ 2.5 වගන්තිය යටතේ වන Level 1 උල්ලංඝනයකට ඇය වරදකාරිය බව තීරණය කෙරුණා.
Gaud වරද පිළිගෙන තරග තීරක Supriya Das යෝජනා කළ දඬුවම පිළිගත්තා. Level 1 උල්ලංඝනයකට අවම දඬුවම නිල අවවාදයක් වන අතර, උපරිම දඬුවම ක්රීඩිකාවකගේ තරග ගාස්තුවෙන් 50%ක් සහ අප්රසාද ලකුණු එකක් හෝ දෙකක්.
මීට අමතරව, ශ්රී ලංකාවට එරෙහි අවසන් පූර්ව තරගයේ දී නියමිත කාලයට වඩා මන්දගාමී පන්දුවාර වේගයක් පවත්වා ගැනීම හේතුවෙන් පාකිස්තාන ක්රීඩිකාවන්ට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් 5%ක දඩයක් නියම කෙරුණා. කාල දීමනා සැලකිල්ලට ගැනීමෙන් පසුව පාකිස්තානය නියමිත ඉලක්කයට වඩා එක් පන්දුවාරයක් පසුපසින් සිටි බව තීරණය කිරීමෙන් අනතුරුව තරග තීරක GS Lakshmi මෙම දඬුවම පැනවූවා.
ICC ආචාරධර්ම සංග්රහයේ 2.22 වගන්තිය අනුව, නියමිත කාලය තුළ කණ්ඩායම යැවීමට අපොහොසත් වන සෑම පන්දුවාරයක් වෙනුවෙන් ම ක්රීඩිකාවන්ට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් 5%ක දඩයක් නියම කෙරෙනවා.
ESPNcricinfo වාර්තාකරණය මත පදනම්ව
