හිටපු නැමීබියානු නායිකා යස්මීන් ඛාන් දකුණු අප්රිකානු රතු පන්දු පුහුණු කඳවුරට
ESPNcricinfoපුවත

මෙම වාරයේ දී ඉන්දියාව හා ඕස්ට්රේලියාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරග සඳහා සූදානම ඇරඹේ
හිටපු නැමීබියානු ක්රීඩිකා යස්මීන් ඛාන් දකුණු අප්රිකාව වෙනුවෙන් ක්රීඩා කිරීමට කැමැත්ත පළ කර ඇති අතර, මෙම වාරයේ දී ස්වදේශයේ දී ඉන්දියාව හා ඕස්ට්රේලියාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරග දෙක සඳහා සූදානම් වීමට සැප්තැම්බර් 27 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වෙන ක්රීඩිකාවන් 28කගෙන් යුත් රතු පන්දු පුහුණු කඳවුරට ඇය ඇතුළත් කර තිබේ. නැමීබියාව වෙනුවෙන් T20I තරග 117කට ක්රීඩා කර 27 වතාවක් නායකත්වය දරා ඇති යස්මීන් උපත ලැබුවේ කේප් ටවුන් සහ ගෙබෙරා අතර පිහිටි වෙරළබඩ නගරයක් වන ජෝර්ජ් හි ය. ඩර්බන් කේන්ද්ර කරගත් ඩොල්ෆින්ස් පිල නියෝජනය කරන ඇය, මෑතක දී බංග්ලාදේශය සමඟ පැවති තරගාවලියක දී දකුණු අප්රිකානු කාන්තා නැගී එන පිල වෙනුවෙන් ක්රීඩා කළ අතර තමා උපන් රටට ක්රීඩා කිරීමේ සුදුසුකම ඇයට හිමි ය.
විස්තීර්ණ කරන ලද එම සංචිතයට ඇතුළත් වූ, දකුණු අප්රිකාව වෙනුවෙන් මෙතෙක් ක්රීඩා කර නොමැති ක්රීඩිකාවන් හය දෙනාගෙන් එක් අයෙකු යස්මීන් ය. තුන් ඉරියව් ක්රීඩිකාවන් වන ඇලෙක්සැන්ඩ්රා කෑන්ඩ්ලර් සහ නිකොලියන් යාන්සේ වෑන් රෙන්ස්බර්ග්, පිතිකාරිනි ඉසෙල් සිලියර්ස් සහ කඩුලු රකින්නියන් වන සිමෝන් ලොරන්ස් සහ ටෙබෝගෝ මචේකේ අනෙක් පස් දෙනා ය. නායිකා ලෝරා වොල්වාඩ්, ටැස්මින් බ්රිට්ස්, නැඩීන් ඩි ක්ලර්ක් සහ නොන්කුලුලේකෝ ම්ලාබා ඇතුළු නිතිපතා ක්රීඩා කරන්නියන් සමඟ ඔවුහු එක් වෙති.
WCPL තරගාවලියට සහභාගී වූ ෂබ්නිම් ඉස්මයිල්, මැරිසාන් කැප් සහ ක්ලෝයි ට්රයන් මෙම කණ්ඩායමට නම් කර නැත. කැප් සහ ට්රයන් සැප්තැම්බර් 29 වැනිදා සිට ඔක්තෝබර් 3 වැනිදා දක්වා පැවැත්වෙන කැනඩා සුපර් 60 තරගාවලියට එක්වීමට නියමිත ය. ඩේන් වෑන් නීකර්ක්ගේ ජාත්යන්තර අනාගතය පිළිබඳ තවමත් පැහැදිලි තත්ත්වයක් නොමැති අතර, අයබොන්ගා කාකා ටෙස්ට් තරග සඳහා නොලැබේ.
දකුණු අප්රිකාව සිය 17 වැනි සහ 18 වැනි ටෙස්ට් තරග ලෙස, මෙම වාරයේ පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් 9 වැනිදා සිට 12 වැනිදා දක්වා ගෙබෙරා හි දී ඉන්දියාව සමඟ ද, ලබන වසරේ අප්රේල් 11 වැනිදා සිට 14 වැනිදා දක්වා පොච්ෆස්ට්රූම් හි දී ඕස්ට්රේලියාව සමඟ ද ක්රීඩා කිරීමට නියමිත ය.
පෙබරවාරි මාසයේ දී පළමු වරට පැවැත්වෙන කාන්තා ශූරයන්ගේ කුසලානය හේතුවෙන් කාලසටහනේ සිදු වන වෙනස්කම් සඳහා ඉඩ සලසමින් ඕස්ට්රේලියානු තරගය දින කිහිපයකින් වෙනස් කිරීමට ඉඩ තිබුණ ද, එය පැවැත්වෙන බව නිසැක ය. එබැවින් සිය රතු පන්දු සංචිතය සූදානම් බව තහවුරු කර ගැනීමට දකුණු අප්රිකාව අපේක්ෂා කරයි. හැකි තරම් ක්රීඩිකාවන් විශාල පිරිසකට දිගු ආකෘතියට නිරාවරණය වීමේ අවස්ථාව ලබා දෙමින්, විස්තීර්ණ සංචිතයක් සමඟ මෙම වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල දී රතු පන්දු දැඩි පුහුණු කඳවුරු දෙකක් දකුණු අප්රිකාව පවත්වනු ඇත. එම කඳවුරු රතු පන්දු කුසලතා වර්ධනය කෙරෙහි අවධානය යොමු කරන අතර, දෙවැන්නට මෙතෙක් නොවූ ආකාරයේ පුහුණු තරගයක් ද ඇතුළත් වේ. වර්තමානයේ දී දකුණු අප්රිකානු කාන්තා දේශීය පිල් කිසිදු රතු පන්දු ක්රිකට් තරගයක් ක්රීඩා නොකරයි.
“රතු පන්දු ක්රිකට් සඳහා සූදානම් වීම සහ එය ක්රීඩා කිරීම ක්රීඩිකාවන් හා පුහුණුකරුවන් ලෙස අපව උද්දාමයට පත් කරන දෙයක්,” යැයි දකුණු අප්රිකානු පුහුණුකරු මැන්ඩ්ලා මෂිම්බි පැවසීය. “අපි හැම විටම ක්රිකට් ක්රීඩකයන් ලෙස ඉගෙන ගන්නට සහ වර්ධනය වන්නට ආසා කරන කණ්ඩායමක්. ඒ අඛණ්ඩ වර්ධනය ලබා ගන්නට ක්රීඩාවේ දිගු ආකෘතිය විශාල පිටුවහලක් වෙනවා. රතු පන්දු ක්රිකට් සහ ඉන් ඔබ්බට සාර්ථක වන්නට අවශ්ය කුසලතා සහ මානසිකත්වය සලකා බලන විට අපට යොමු විය හැකි ශක්තිමත් ක්රීඩක පදනමක් ගොඩනැගීමේ අරමුණින් අපි හිතාමතාම කඳවුරට ආරාධනා කළ ක්රීඩිකාවන්ගේ පරාසය පුළුල් කළා.”
පිරිමි දේශීය පිලක් වන ටයිටන්ස් පුහුණු කරමින් රතු පන්දු ක්රිකට් හි සාර්ථක ඉතිහාසයක් ඇති මෂිම්බි, කුසලතා වර්ධනය සඳහා කාන්තා කණ්ඩායමට වැඩි ප්රථම පෙළ ක්රිකට් අවස්ථා ලබා දිය යුතු බව දීර්ඝ කාලයක් තිස්සේ අවධාරණය කර ඇත. 2024 දෙසැම්බරයේ දී පත් වූ අවස්ථාවේ දී, දිගු ආකෘතියේ ක්රිකට් ක්රීඩා කිරීම කණ්ඩායමේ සුදු පන්දු ක්රීඩාවට ද උපකාරී වන බව ඔහු පැවසූ අතර, තවමත් ඔහු එය විශ්වාස කරයි. “එය අපේ තාක්ෂණික හා උපායශීලී සැලැස්ම වැඩිදියුණු කර ගන්නට ද අවස්ථාවක් ලබා දෙනවා. ඒක දිගු ආකෘතියට විතරක් නෙවෙයි, එක්දින ජාත්යන්තර සහ T20 ජාත්යන්තර ක්රිකට් හි ඉදිරියේ එන අභියෝගවලට සූදානම් වන්නට ද උපකාරී වෙනවා,” යැයි මෂිම්බි පැවසීය.
2007 සිට ටෙස්ට් තරග පහක දී දකුණු අප්රිකාවට ජයක් ලබා ගැනීමට නොහැකි වී ඇති අතර, බ්ලූම්ෆොන්ටේන් හි දී එංගලන්තයට එරෙහිව පැවති ඔවුන්ගේ නවතම තරගයෙන් ද ඔවුහු පරාජයට පත් වූහ. මෙම වාරයේ තරග දෙක ඇතුළුව, 2028 දී ඕස්ට්රේලියාවේ සහ එංගලන්තයේ දී ද, 2029 දී ස්වදේශයේ දී බටහිර ඉන්දීය කොදෙව්වලට එරෙහිව ද යන ටෙස්ට් තරග පහක් 2025-2029 FTP චක්රය තුළ ඔවුනට ක්රීඩා කිරීමට නියමිත ය.
රතු පන්දු ක්රිකට් සඳහා දකුණු අප්රිකානු කාන්තා පුහුණු සංචිතය
ලෝරා වොල්වාඩ්, ඇනෙකේ බොෂ්, ටැස්මින් බ්රිට්ස්, ඇලෙක්සැන්ඩ්රා කෑන්ඩ්ලර්, ඉසෙල් සිලියර්ස්, නැඩීන් ඩි ක්ලර්ක්, ඇනරී ඩර්ක්සන්, ලාරා ගුඩෝල්, අයන්දා ලුබි, නිකොලියන් යාන්සේ වෑන් රෙන්ස්බර්ග්, ලියා ජෝන්ස්, යස්මීන් ඛාන්, මසබාටා ක්ලාස්, සිමෝන් ලොරන්ස්, සුනේ ලූස්, ටෙබෝගෝ මචේකේ, එලිස්-මාරි මාක්ස්, කරාබෝ මෙසෝ, නොන්කුලුලේකෝ ම්ලාබා, සෙෂ්නි නයිදු, න්තබිසෙන් නිනි, ලුයන්දා න්සුසා, කයිලා රෙයිනෙකේ, නොන්දුමිසෝ ශන්ගාසේ, ටුමි සෙකුකුනේ, මියානේ ස්මිත්, ෆේයි ටනික්ලිෆ්, කේට්ලින් වින්ගාඩ්
ESPNcricinfo වාර්තාකරණය මත පදනම්ව
