ශෆාලි වර්මාට පිටියෙන් ඉවත්ව යන ලෙස සංඥා කළ ෆාතිමා සනාට දඬුවම්
ESPNcricinfoපුවත

පාකිස්තාන නායිකාවට තරග ගාස්තුවෙන් 10%ක දඩයක් සහ එක් දඬුවම් ලකුණක් පනවා තිබේ
සෙනසුරාදා ඩුබායිහිදී ඉන්දියාවට එරෙහිව පැවති කාන්තා T20 ආසියානු කුසලාන තරගයේදී ශෆාලි වර්මාට පිටියෙන් ඉවත්ව යන ලෙස සංඥා කිරීම හේතුවෙන් පාකිස්තාන නායිකා ෆාතිමා සනාට තරග ගාස්තුවෙන් 10%ක දඩයක් පනවා, විනය වාර්තාවට එක් දඬුවම් ලකුණක්ද එක් කර තිබේ. මාස 24ක කාලයක් තුළ සනා කළ දෙවැනි වරද මෙය වන අතර, ඒ අනුව ඇගේ මුළු දඬුවම් ලකුණු සංඛ්යාව දෙකක් දක්වා ඉහළ ගියේය.
පාකිස්තානය ලබාගත් ලකුණු 55 හඹා ගිය ඉන්දීය ඉනිමේ දෙවැනි පන්දුවාරයේදී මෙම සිදුවීම ඇති විය. ශෆාලි එල්ල කළ පහරකින් පන්දුව යළි පන්දු යවමින් සිටි සනා වෙත උඩපන්දුවක් ලෙස ගිය අතර, එය රැකගත් සනා සැමරුම අතරතුර ක්රීඩාගාරය දෙසට සංඥා කිරීමෙන් නිලධාරීන්ගේ අවධානයට ලක් වූවාය.
පිටියේ විනිසුරුවරියන් වූ නිමාලි පෙරේරා සහ ශාතිරා ජකීර් ජෙසී, තෙවැනි විනිසුරුවරිය වූ රොකෙයා සුල්තානා සහ සිව්වැනි විනිසුරුවරිය වූ රබාබ් අහ්සාන් සනාට චෝදනා කළ අතර, තරග තීරක සුප්රියා රාණි දාස් සමඟ පැවති හමුවේදී සනා එම වරද පිළිගත්තාය.
මෙම වරද, "ජාත්යන්තර තරගයකදී පිතිකාරිනියක දැවී ගිය පසු ඇය අවමානයට ලක් කරන හෝ ඇගෙන් ආක්රමණශීලී ප්රතිචාරයක් ඇති කළ හැකි භාෂාව, ක්රියා හෝ සංඥා භාවිත කිරීම" සම්බන්ධයෙන් වන ක්රීඩක ක්රීඩිකාවන් සහ තරග නිලධාරීන් සඳහා වූ ICC චර්යාධර්ම සංග්රහයේ 2.5 වගන්තිය උල්ලංඝනය කිරීමකි.
ඉන්දීය දඟ පන්දු යවන්නියන් වන එන් ශ්රී චරණි (ලකුණු 7කට කඩුලු 3ක්), ප්රේමා රාවත් (ලකුණු 9කට කඩුලු 3ක්), දීප්ති ශර්මා (ලකුණු 5කට කඩුලු 2ක්) සහ ශෆාලි (ලකුණු 10කට කඩුල්ලක්) පාකිස්තානය ඉතා අඩු ලකුණු සංඛ්යාවකට දවාගැනීමෙන් පසු ඉන්දියාව කඩුලු හතකින් තරගය ජය ගත්තාය. ඉන්දීය ඉනිමේ බිඳ වැටුණු කඩුලු තුනම සනා දවා ගත්තාය.
තරග දෙකකින් එක් ජයක් ලබා සිටින පාකිස්තානය සිය තෙවැනි සහ අවසන් කාණ්ඩ තරගයට සඳුදා සන්ධ්යාවේ හොංකොං සමඟ ක්රීඩා කරයි. කාණ්ඩයේ පෙරමුණ ගත් ඉන්දියාව බ්රහස්පතින්දා පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා තිබේ.
ESPNcricinfo වාර්තාකරණය මත පදනම්ව
