පාකිස්තාන සංචිතයේ දැවැන්ත වෙනස්කම් ගැන බාබර්: ‘එය මටත් අලුත් පුවතක්’
ESPNcricinfoපුවත

ලෝඩ්ස් තරගයෙන් පසු PCB ආයතනය ටෙස්ට් සංචිතය මුළුමනින්ම වෙනස් කිරීම පිළිබඳව තමන් දැනුවත් කර නොතිබූ බව නායකයා පිළිගනියි
ලෝඩ්ස් තරගයෙන් පසු පාකිස්තාන සංචිතයේ සිදුකළ දැවැන්ත වෙනස්කම් තම දැනුවත්භාවය, අදහස් හෝ අනුමැතිය නොමැතිව සිදු වූ බව පාකිස්තාන නායක බාබර් අසාම් පැවසීය. එජ්බැස්ටන්හි තුන්වැනි ටෙස්ට් තරගයට පෙර දින පැවැති, ඇතැම් අවස්ථාවල උණුසුම් වූ මාධ්ය හමුවේදී සංචිත වෙනස්කම් ගැන සාකච්ඡා කිරීමේදී බාබර් විශේෂයෙන්ම කෙටි පිළිතුරු ලබාදුන් අතර, ඒ වෙනුවට පැමිණෙන ක්රීඩකයන්ට එය “ස්වර්ණමය අවස්ථාවක්” බව පෙන්වා දීමට කැමැත්තක් දැක්වීය.
නිල නිවේදනය නිකුත් කිරීමෙන් පසුව පමණක් සංචිතයේ දැවැන්ත වෙනස්කම් දැනගත් තමන් ද පිටත සිටි අනෙක් සියලු දෙනා මෙන්ම අනපේක්ෂිත තත්ත්වයකට පත්වූ බව බාබර් පිළිගත්තේය. “එය මටත් අලුත් පුවතක්,” බාබර් පැවසීය. “මම දැනගත්තේ පසුවයි. තීරණය ගත්තේ PCB ආයතනය නිසා ඔවුන්ට ඒ ගැන වඩා හොඳින් පැහැදිලි කරන්න පුළුවන්.”
“PCB ආයතනයේ තීරණය යම්කිසි සිතා බැලීමකින් පසුව ගන්න ඇති,” ඔහු වැඩිදුරටත් පැවසීය. “ඒ ඇයි කියලා ඔවුන්ගෙන් අහන එක වඩා හොඳයි.”
ලෝඩ්ස්හිදී පාකිස්තානයේ පරාජය තහවුරු වූ දිනයට පසු දින, සංචිතයෙන් ක්රීඩකයන් 7 දෙනෙකු මෙන්ම ප්රධාන පුහුණුකරු සර්ෆරාස් අහමඩ් සහ පන්දු යැවීමේ පුහුණුකරු උමාර් ගුල් ද ඉවත් කළ බව PCB ආයතනය නිවේදනය කළේය. ඔවුන් වෙනුවට නව ක්රීඩකයන් 7 දෙනෙකු කැඳවා ඇති අතර, ඉන් 5 දෙනෙකු මීට පෙර කිසිදා ටෙස්ට් ක්රිකට් ක්රීඩා කර නොමැත.
එම තීරණ නිසා මේ සතිය තමන්ට අපහසු වූ බවට වූ අදහස් බාබර් බැහැර කළද, තමන් “පුදුමයට පත්වූ” බව පිළිගත්තේය. පාකිස්තානයේ දැනට න්යායාත්මකව පවතින තේරීම් ව්යුහය අනුව නායකයා ලෙස එවැනි තීරණ ගැනීමේ ක්රියාවලිය ඔහු දැන සිටිය යුතුය. “විනය සහ හැසිරීම සම්බන්ධයෙන් පළවූ මාධ්ය වාර්තා මේ වන විට අභ්යන්තරව සමාලෝචනය කෙරෙන” බැවින් පරීක්ෂණයක් ආරම්භ කරන බවට PCB ආයතනය පසුගිය සතියේ කළ නිවේදනය පිළිබඳව ද තමන්ට තවත් තොරතුරු නොමැති බව ඔහු පැවසීය.
ඒ වෙනුවට, සිය නව ටෙස්ට් පුහුණුකරුවන් වන මයික් හෙසන් සහ ඈෂ්ලි නොෆ්කේ පසුගිය දින කිහිපයේ පැවසූ අදහස්ම බාබර් ද ප්රතිරාවය කළේය. පෙර සිදු වූ දේ හෝ මෙම සංචාරය අවසන් වූ පසු සිදුවිය හැකි දේ වෙනුවට ඔහු මේ සතියේ ටෙස්ට් තරගය කෙරෙහි පමණක් දැඩි අවධානය යොමු කළේය.
“තරගාවලිය පරාජය වී අවසන් වුණත් අපට අහිමි කරගන්න දෙයක් නැහැ,” බාබර් පැවසීය. “අපි නිදහසේ ක්රීඩා කර කණ්ඩායමක් ලෙස අප ගැන විශ්වාසය තැබිය යුතුයි. අපි දින කිහිපයක් පුහුණුවීම් කරලා අලුත් ක්රීඩකයන්ට කරුණු පැහැදිලි කළා. පැමිණෙන ඕනෑම තරුණ ක්රීඩකයෙක් උද්යෝගයෙන් ඉන්නේ, ඒ උද්යෝගය පෙනෙනවා. එය තරගයේදීත් පෙනෙයි කියලා මම විශ්වාස කරනවා.”
ලෝඩ්ස්හිදී ලකුණු 194කින් ලැබූ පරාජයෙන් පසුව, පාකිස්තානයේ ඉහළ කාර්යසාධන අධ්යක්ෂ ආකිබ් ජාවෙඩ් තරගාවලියේ පාකිස්තාන තේරීම් දැඩි ලෙස විවේචනය කර තිබිණි. කෙසේ වෙතත්, පළමු ටෙස්ට් තරග 2දී තම කණ්ඩායම ගත් තීරණ බාබර් ආරක්ෂා කළේය.
“කණ්ඩායමක් ලෙස අපි අංශ 3න්ම හොඳින් ක්රීඩා කළේ නැහැ,” ඔහු පැවසීය. “ප්රතිඵල නොලැබෙන විට පිටතින් විශාල විවේචනයක් එල්ල වෙනවා. ඒත් ඒ වෙලාවේ හොඳම දේ ලෙස අප සිතූ දේ තමයි කළේ. තණතීරුව සහ තත්ත්වයන් අප තේරුම්ගත් ආකාරය අනුව, තෝරාගත් XI ඒ අවස්ථාවේ හොඳම ඒවා බව අප සිතුවා. ඒත් අප අපේක්ෂා කරන ප්රතිඵල හෝ දක්ෂතා ලැබුණේ නැහැ.”
සංචිතයේ නවක මුහුණු රැසක් සිටින බැවින් පාකිස්තානයේ ආරම්භක XI කෙසේ වේදැයි කිසිවෙකුටත් නිශ්චිතව කිව නොහැකි වුවද, දස්කම් දැක්වීමේ විශාල වගකීම කණ්ඩායමේ ජ්යෙෂ්ඨ ක්රීඩකයන් මත පැවරෙන බව බාබර් පැවසීය. අතේ ආබාධයක් හේතුවෙන් හෙඩිංලිහි පළමු ටෙස්ට් තරගය අහිමි වූ පසු ලෝඩ්ස්හිදී ලකුණු 8ක් සහ 6ක් රැස් කළ බාබර් ද ඊට ඇතුළත්ය. මෙම සංචිතයේ අනෙක් සෑම සාමාජිකයෙකු මෙන්ම ඔහු ද මෙතෙක් එජ්බැස්ටන්හි ටෙස්ට් තරගයක් ක්රීඩා කර නොමැත.
“තරගාවලියකට පිවිසෙන හැම අවස්ථාවකම දස්කම් දක්වන්න පුළුවන් කියලා තමන් ගැන විශ්වාසය තබනවා,” ඔහු පැවසීය. “ජ්යෙෂ්ඨ ක්රීඩකයෙකු ලෙස වැඩි වගකීමක් භාරගත යුතුයි. අවස්ථා ලබාගෙන දුෂ්කර තත්ත්වයන් යටතේ දස්කම් දැක්විය යුතු බව මම තරයේ විශ්වාස කරනවා. අපි ක්රිකට් ක්රීඩා කරන්නේ ඒ නිසයි. දුෂ්කර තත්ත්වයන් යටතේ දස්කම් දක්වා ආධිපත්යය පෙන්විය යුතුයි. පසුගිය අසාර්ථකත්වයන් අමතක කර අනාගතය වෙත අවධානය යොමු කළ යුතුයි.”
ESPNcricinfo වාර්තාකරණය මත පදනම්ව
