ලෝක කුසලානයට ස්ථාවර කණ්ඩායමක් ගොඩනැගීම තේරීම් කමිටුවේ අරමුණයි
ශ්රී ලංකා ක්රිකට්පුවත

ඉදිරි ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් දිගුකාලීනව ස්ථාවර ශ්රී ලංකා කණ්ඩායමක් ගොඩනැගීම සඳහා ක්රීඩකයන්ගේ දක්ෂතා, ශාරීරික යෝග්යතාව සහ නායකත්ව හැකියාවන් පිළිබඳව වඩාත් අවධානය යොමු කරමින් තේරීම් කටයුතු සිදුකරන බව ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටු සභාපති කපිල විජේගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව මෑතකදී සිදු කළ නායකත්ව හා උපනායකත්ව වෙනස්කම් මෙන්ම ජ්යෙෂ්ඨ හා නැගී එන ක්රීඩකයන් සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණ ද ඉදිරි ලෝක කුසලාන සැලසුමේ කොටසක් බව ඔහු සඳහන් කළේය.
එංගලන්ත එක්දින සහ විස්සයි-20 තරග සංචාරය සඳහා චරිත් අසලංක උපනායකයා ලෙස පත් කිරීමට ඔහුගේ ජ්යෙෂ්ඨත්වය සහ මීට පෙර ලැබූ නායකත්ව අත්දැකීම් ප්රධාන වශයෙන් බලපා ඇති බව විජේගුණවර්ධන මහතා පැවසීය.
කෙසේ වෙතත්, නිත්ය නායක කුසල් මෙන්ඩිස් ආබාධයකට ලක්වීම හේතුවෙන් මේ වනවිට චරිත් අසලංක ශ්රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නායකත්වයට පත් කර ඇති අතර, කමිඳු මෙන්ඩිස් උපනායකයා ලෙස පත් කර තිබේ.
කමිඳු මෙන්ඩිස්ගෙන් උපනායකත්වය ඉවත් කිරීම සම්බන්ධයෙන් ද පැහැදිලි කිරීමක් කළ තේරීම් කමිටු සභාපතිවරයා, එම තීරණය ඔහුගේ දක්ෂතා හෝ විනය සම්බන්ධ කිසිදු ගැටලුවක් හේතුවෙන් ගත් එකක් නොවන බව අවධාරණය කළේය. “උප නායකත්වයෙන් ඉවත් කිරීම නායකයා තෝරා ගැනීම සමග කිසිදු සම්බන්ධයක් නැහැ” යනුවෙන් විජේගුණවර්ධන මහතා පැවසීය.
මීට මාස තුනකට පමණ පෙර සියලුම ආකෘති සඳහා උපනායකයා ලෙස පත් කළ කමිඳු මෙන්ඩිස් ශ්රී ලංකා කණ්ඩායමේ ප්රධාන පෙළේ පිතිකරුවකු බව පෙන්වා දුන් ඔහු, කමිඳුට පිතිකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට අවශ්ය නිදහස ලබාදීම ද එම තීරණය පිටුපස තිබූ අරමුණක් බව සඳහන් කළේය.
මේ අතර, මෑත කාලයේ ශ්රී ලංකා ටෙස්ට් කණ්ඩායමෙන් අපේක්ෂා කළ මට්ටමේ දක්ෂතා නොලැබීම පිළිබඳව ද තේරීම් කමිටු සභාපතිවරයා අදහස් පළ කළේය.
කණ්ඩායමෙන් අපේක්ෂා කළ ප්රතිඵල නොලැබුණු බව පිළිගත් විජේගුණවර්ධන මහතා, මේ අවස්ථාවේදීම ටෙස්ට් නායකත්වයේ වෙනසක් සිදුවේදැයි ප්රකාශ කිරීම ඉක්මන් වැඩි බව සඳහන් කළේය.
වත්මන් ටෙස්ට් නායක ධනංජය ද සිල්වාගේ නායකත්වය පිළිබඳ තීරණය ඉදිරි ටෙස්ට් සංචිතය තෝරා ගැනීමේදී සාකච්ඡා කිරීමට නියමිත බව ද ඔහු පැවසීය.
ධනංජය ද සිල්වා මේ දක්වා ටෙස්ට් තරග 18කදී ශ්රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදී ඇති අතර, එම තරග 18න් 6ක් ජයග්රහණය කර ඇති අතර තරග 8ක් පරාජයට පත්ව තිබේ. තරග 4ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත. ඒ අනුව ඔහුගේ නායකත්වය යටතේ ශ්රී ලංකාවේ ටෙස්ට් තරග ජයග්රාහී ප්රතිශතය සියයට 33.33කි.
කෙසේ වෙතත්, මේ සියලු තීරණවල අවසන් අරමුණ ඉදිරි ලෝක කුසලානයට ශක්තිමත් හා ස්ථාවර කණ්ඩායමක් ගොඩනැගීම බව තේරීම් කමිටු සභාපතිවරයා අවධාරණය කර සිටියේය. ජ්යෙෂ්ඨ ක්රීඩකයන්ගේ අත්දැකීම් සහ නැගී එන ක්රීඩකයන්ගේ දක්ෂතා නිසි ලෙස ඒකාබද්ධ කරමින්, තරග ආකෘති අනුව වඩාත් සුදුසු සංයුතියක් ගොඩනැගීම තේරීම් කමිටුවේ ඉදිරි අභියෝගය වී තිබේ.
මෙම මාධ්ය හමුව සඳහා ශ්රී ලංකා ක්රිකට් පරිවර්තන කමිටුවේ ලේකම්වරයා ලෙසින් කටයුතු කරනු ලබන ප්රකාශ් ෂාෆ්ටර් මහතාද සහභාගිව සිටියේය.
ශ්රී ලංකා ක්රිකට් වාර්තාකරණය මත පදනම්ව
