සුපිරි ඕවරයෙන් ටැමිල් යූනියන් අවසන් මහ සටනට
ශ්රී ලංකා ක්රිකට්පුවත

කොළඹ එස්.එස්.සී. ක්රීඩාංගණයේදී අද (13) පැවැති අන්තර් සමාජ ප්රධානතම විස්සයි-20 තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අතිශය තියුණු සටනකින් පසුව සුපිරි ඕවරයෙන් ජයගත් ටැමිල් යූනියන් ක්රීඩා සමාජය අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. නියමිත පන්දුවාර 20 අවසානයේ කණ්ඩායම් දෙකම ලකුණු 193 බැගින් ලබා ගැනීම හේතුවෙන් තරගය සම තත්ත්වයට පත්වූ අතර, ජයග්රාහකයා තීරණය වූයේ සුපිරි ඕවරයෙනි.
සුපිරි පන්දුවාරයේදී සී.සී.සී. පිල වෙනුවෙන් පිටියට පිවිසි නිශාන් මධුෂ්ක සහ දුල්නිත් සිගේරා මුහුණ දුන් පළමු පන්දු දෙකෙන්ම කඩුලු දවා ගැනීමට බිනුර ප්රනාන්දු සමත්විය. ඒ අනුව ටැමිල් යූනියන් පිලට ජයග්රහණය සඳහා අවශ්ය වූ ලකුණු සංඛ්යාව ඉතා පහසුවෙන් සපුරාලමින් ෂෙවෝන් ඩැනියල් එල්ල කළ හයේ පහරත් සමඟ සුපිරි පන්දුවාරය අවසන් විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ටැමිල් යූනියන් පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 6කට ලකුණු 193ක් රැස් කළේය. වේගවත් ආරම්භයක් ලබාදුන් තනුක දාබරේ පන්දු 17කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 42ක් රැස් කළ අතර, ටැමිල් යූනියන් ඉනිමේ මැද භාගයේදී ලකුණු ගලා ඒම තරමක් මන්දගාමී වුවද අවසන් පන්දුවාර කිහිපයේදී නැවතත් වේගවත් විය.
ශාරුජන් ෂන්මුගනාදන් නොදැවී ලකුණු 36ක්ද, තෙවින්දු සේනාරත්න ලකුණු 33ක්ද, සචිත ජයතිලක පන්දු 20කින් ලකුණු 32ක්ද රැස් කරමින් එම ලකුණු සංඛ්යාව කරා තමිල් යූනියන් රැගෙන ගියහ. අවසන් පන්දුවාරයේදී ලහිරු සමරකෝන් පන්දු 4කින් නොදැවී ලකුණු 12ක් රැස් කිරීමද තමිල් යූනියන් ලකුණු 193 දක්වා රැගෙන යාමට වැදගත් විය.
ලකුණු 194ක ඉලක්කයක් හඹා ගිය සී.සි.සී. කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්රීඩා කළ නිශාන් මධුෂ්ක සිය කණ්ඩායම ජයග්රහණය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත විය. ආරම්භක පිතිකරු ලෙස නොදැවී සිටි මධුෂ්ක පන්දු 65කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 6ක් සමඟ නොදැවී ලකුණු 109ක් රැස් කළේය. කෙසේ වෙතත්, ඔහුගේ විශිෂ්ට ශතකය ජයග්රාහී ඉනිමක් බවට පත් කිරීමට කොළඹ ක්රිකට් සමාජයට නොහැකි විය.
මධුෂ්කට අනගි සහායක් ලබාදුන් දුල්නිත් සිගේරා පන්දු 18කදී ලකුණු 31ක් රැස් කළ අතර, ලසිත් කෲස්පුල්ලේ පන්දු 10කින් ලකුණු 20ක් ලබා ගත්තේය. එහෙත් තමිල් යූනියන් පන්දු යවන්නන් අවසන් අදියරේදී තරගයට නැවත පැමිණීමත් සමඟ කොළඹ ක්රිකට් සමාජයට නියමිත පන්දුවාර 20 තුළදී ලබාගත හැකි වූයේ ලකුණු 193ක් පමණි.
ටැමිල් යූනියන් වෙනුවෙන් බිනුර ප්රනාන්දු විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 30කට කඩුලු 3ක් දවාගත් අතර, විජයකාන්ත් වියස්කාන්ත් සහ සචිත ජයතිලක එක් කඩුල්ල බැගින් දවා ගත්හ.
ඒ අනුව තරගය සම වීමෙන් පසුව පැවැති සුපිරි ඕවරයේදී ටැමිල් යූනියන් ජය තහවුරු කරමින් මෙවර තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසියේය. ඒ සමඟම ඔවුන් ලබන 16 වැනිදා එස්.එස්.සී. කණ්ඩායම සමඟින් අවසන් මහ තරගයට ක්රීඩා කරනු ඇත.
ටැමිල් යූනියන් – 193/6 (පන්දුවාර 20) – තනුක දාබරේ 42, ශරුජන් ෂන්මුගනාදන් නොදැවී 36, තෙවින්දු සේනාරත්න 33, සචිත ජයතිලක 32, ලහිරු සමරකෝන් නොදැවී 12, බිනුර ප්රනාන්දු 30/3, ලසිත් කෲස්පුල්ලේ 10/2, දුවින්දු රණතුංග 48/2
සී.සී.සී. කණ්ඩායම – 193/6 (පන්දුවාර 20) – නිශාන් මධුෂ්ක නොදැවී 109, දුල්නිත් සිගේරා 31, ලසිත් කෲස්පුල්ලේ 20, බිනුර ප්රනාන්දු 30/3, විජයකාන්ත් වියස්කාන්ත් 33/1, තනුක දාබරේ 28/1, සචිත ජයතිලක 28/1
ශ්රී ලංකා ක්රිකට් වාර්තාකරණය මත පදනම්ව
