වත්මන් ශූර ශ්රී ලංකා ක්රීඩිකාවන්ට ආසියානු කිරුළ රැකගැනීමට ප්රබල ඉන්දීය අභියෝගයක්
ශ්රී ලංකා ක්රිකට්පුවත

ආසියානු ක්රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්රිකට් තරගාවලියේ ශූරතාව වෙනුවෙන් වත්මන් ශූර ශ්රී ලංකාව සහ ඉන්දියාව හෙට (13 දා) මුහුණට මුහුණ ඩුබායි ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී හමුවෙන ඇත. මන්දගාමී තණතීරුවක් ලෙසින් සැලකෙන මෙම අවසන් සටනේ ශූරතාව දඟ පන්දු යවන්නන්ගේ දස්කම් මත බොහෝ දුරට තීරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙතෙක් තරගාවලියේදී දඟ පන්දු යවන්නියන්ගේ දස්කම් දෙපිලටම විශාල ශක්තියක් වී තිබේ. ඉන්දීය දඟ පන්දු බලඇණිය මේ දක්වා කඩුලු 26ක් බිඳ දමා ඇති අතර ශ්රී ලංකාව කඩුලු 25ක් ලබාගෙන තිබේ. ඒ අනුව අවසන් තරගයේදී පිතිකරුවන්ට වඩා දඟ පන්දු යවන්නන්ගේ අභියෝගය ඉහළ යනු ඇතැයි පෙනේ.
කෙසේ වෙතත් පිතිකරණ අංශයෙන් ඉන්දියාව ශ්රී ලංකාවට වඩා ස්ථාවර තත්ත්වයක පසුවීම ශ්රී ලංකාවට ඇති ප්රධාන අභියෝගයකි. ස්මිත්රී මන්ධනා සහ ශෆාලි වර්මා ඉන්දීය ඉනිමේ ප්රධාන ලකුණු රැස්කරන්නන් බවට පත්ව ඇති අතර, විශේෂයෙන්ම ශෆාලි වර්මා මේ දක්වා තරග හතරකදී ලකුණු 168ක් රැස්කර ඇත්තේ ලකුණු රැස්කිරීමේ වේගය 169.69ක් ලෙස ඉහළ මට්ටමක පවත්වා ගනිමිනි.
ශ්රී ලංකාවට මෙවර තරගාවලියේදී පිතිකරණයෙන් එතරම් සාර්ථක ආරම්භයක් ලබාගැනීමට හැකි වී නැත. පාකිස්තානයට එරෙහි අවසන් පූර්ව තරගයේදී ලකුණු 33කට කඩුලු හතරක් බිඳවැටුණු අතර, එම අසීරු අවස්ථාවේදී හර්ෂිතා සමරවික්රම සහ කවිෂා දිල්හාරි එක්ව ඉනිම ගොඩනඟමින් ශ්රී ලංකාව ජයග්රහණය කරා රැගෙන ගියහ.
බංග්ලාදේශයට එරෙහි තරගයේදීද ශ්රී ලංකාව ලකුණු 44කට කඩුලු පහක් අහිමි කරගත් අතර, ඉන්දුනීසියාවට එරෙහි තරගයේදී ලකුණු 45කට කඩුලු පහක් බිඳවැටුණි. එම අවස්ථාවලදී මැද පෙළ සහ පසුපෙළ පිතිකාරිණියන්ගේ දායකත්වයෙන් ඉනිම ගොඩනඟා ගැනීමට ශ්රී ලංකාව සමත් වුවද, ඉන්දියාව වැනි ප්රභල පිතිකාරිණියන් පසුවන අවසන් තරගයේදී එවැනි කඩාවැටීම්වලින් ගොඩ ඒම ශ්රී ලංකාවට පහසු නොවනු ඇත.
විශේෂයෙන්ම ශ්රී ලංකා නායිකා චමරි අතපත්තුගේ පිත්ත මෙවර තරගාවලියේදී තවමත් සම්පූර්ණයෙන්ම ක්රියාත්මක වී නොමැත. තරග හතරකදී ලකුණු 63ක් පමණක් ලබා ඇති අතපත්තු පන්දුවෙන් විශිෂ්ට දස්කම් දක්වමින් කඩුලු 11ක් ලබාගෙන තිබේ. අවසන් තරගයේදී පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද ඇයගෙන් ලැබෙන දායකත්වය ශ්රී ලංකාවේ ජයග්රහණයට තීරණාත්මක වනු ඇත.
ඉන්දියාවේ දඟ පන්දු බලඇණියේ දීප්ති ෂර්මා, ශ්රී චරණි සහ ප්රේමා රාවත් ශ්රී ලංකා පිතිකාරිනියන්ට දැඩි අභියෝගයක් එල්ල කරනු ඇත. විශේෂයෙන් ශ්රී චරණි මෙවර තරගාවලියේදී ලකුණු ලබාදීමේ අනුපාතය 3.27ක් ලෙස පවත්වාගෙන යමින් ඉන්දීය පන්දු බලඇණියේ ප්රබලම තුරුම්පුවක් බවට පත්ව සිටී. ඊට අමතරව වේග පන්දු යවන නන්දනි ෂර්මාද හොඳ රිද්මයක සිටීම ඉන්දීය පන්දු ප්රහාරය තවත් ශක්තිමත් කරයි.
ශ්රී ලංකාවට එරෙහිව ඉන්දියාවේ මෑත කාලීන වාර්තාවද ඉන්දියාවට වාසිදායකය. දෙපිල අතර අවසන් විස්සයි20 තරග දහයෙන් නවයක්ම ජයගෙන ඇත්තේ ඉන්දියාවයි. එමෙන්ම 2025 දෙසැම්බර් මාසයේ පැවැති තරග පහකින් සමන්විත විස්සයි20 තරගාවලියද ඉන්දියාව 5-0ක් ලෙස ජයගෙන තිබේ.
එහෙත් මෙම සංඛ්යාලේඛන ශ්රී ලංකාවට බියවීමට හේතුවක් නොවේ. මන්ද 2024 ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව පරාජය කරමින් ශ්රී ලංකාව සිය මංගල කාන්තා ආසියානු කුසලාන ශූරතාව දිනාගත්තේද ඉන්දියාව මෙවැනිම දක්ෂතා අතර සිටින අවස්ථාවකදී බව අමතක නොකළ යුතුය. දඹුල්ලේ පැවැති එම අවසන් තරගයේදී ඉන්දියාව ලබාදුන් ලකුණු 166ක ඉලක්කය කඩුලු අටක් ඉතිරිව තිබියදී හඹා ගිය ශ්රී ලංකාව එදා විශිෂ්ට ජයක් වාර්තා කළේය.
මෙවරද අවසන් තරගය දක්වා දෙපිලම අපරාජිතව පැමිණ තිබීම විශේෂත්වයකි. එබැවින් ඉන්දියාව වඩාත් සමබර කණ්ඩායමක් ලෙස පෙනී සිටියද, විස්සයි-20 වැනි තරගයකදී සියල්ල ඕනෑම අවස්ථාවකදී වෙනස්විය හැකි බව ශ්රී ලංකා ක්රීඩිකාවන් හොඳින්ම දන්නා කරුණකි.
මේ සියලු කරුණු අතර ශ්රී ලංකා කණ්ඩායම සැබැවින්ම අවධානය යොමු කළ යුතු ප්රධානම කරුණක් ලෙස පන්දු රැකීමේදී ඇතැම් ක්රීඩිකාවන් දක්වන දුර්වලතා පෙන්වා දිය හැකිය. පසුගිය වසර කිහිපය පුරාම ශ්රී ලංකා කණ්ඩායමේ නිරන්තරයෙන් දැකගත හැකි අඩුපාඩුවක් බවට පත්ව ඇති මෙය, මේ දක්වාත් අපේක්ෂිත මට්ටමට නිරාකරණය කර ගැනීමට නොහැකි වීම කනස්සල්ලට කරුණකි.
විශේෂයෙන්ම පන්දු රැකීමේ අංශය සඳහා වසර ගණනාවක් පුරා විශේෂ අවධානය යොමු කර තිබුණද, තරග තීරණය කළ හැකි සරල අවස්ථාවන්හිදී පවා පන්දු අතහැරීම්, වැරදි පන්දු රැකීම් සහ අවශ්ය වේලාවේදී පන්දු රැකීමේදී දක්වන මන්දගාමී ප්රතිචාර තවමත් දක්නට ලැබීම ශ්රී ලංකාවට ඇති බරපතළ අඩුපාඩුවකි. අවසන් මහා තරගයක් වැනි ඉහළ පීඩනයක් සහිත තරගයකදී මෙවැනි සුළු අතපසුවීමක් පවා තරගයේ ජය පරාජය තීරණය කිරීමට ඉඩ ඇති බැවින්, පන්දු රැකීමේ අංශය කෙරෙහි ශ්රී ලංකාව විශේෂ අවධානයක් යොමු කළ යුතුය.
කණ්ඩායමේ පන්දු රැකීමේ ප්රමිතිය ඉහළ නැංවීම සඳහා දිගු කලක් තිස්සේ පුහුණු කටයුතු සිදුකෙරුණද, එම පුහුණුවේ ප්රතිඵල තරග බිමේදී අපේක්ෂිත තරම් ප්රබලව ප්රදර්ශනය නොවීම පිළිබඳවද අවධානය යොමු කළ යුතු අවස්ථාවක් පැමිණ තිබේ. අවසන් තරගයේදී ඉන්දියාව වැනි ප්රබල කණ්ඩායමකට එරෙහිව තරග කිරීමේදී ලැබෙන සෑම අවස්ථාවක්ම නිවැරදිව ප්රයෝජනයට ගැනීම මෙන්ම ප්රතිවාදීන්ට අමතර ලකුණු හෝ අමතර අවස්ථා ලබා නොදීම ශ්රී ලංකාවේ ජයග්රහණයට අතිශය වැදගත් වනු ඇත.
ශ්රී ලංකාවේ ජයග්රහණය තීරණය කිරීමේදී හර්ෂිතා සමරවික්රම, කවිෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා වැනි පිතිකාරිනියන්ගේ දායකත්වය මෙන්ම චමරි අතපත්තුගේ තුන් ඉරියව් දස්කම්ද වැදගත් වනු ඇත. ඉන්දියාව වෙනුවෙන් මන්ධනා සහ ශෆාලි වර්මා ලබාදෙන ආරම්භය මෙන්ම දීප්ති ප්රමුඛ දඟ පන්දු බලඇණියේ ක්රියාකාරීත්වය තරගයේ ප්රතිඵලයට බලපානු ඇත.
ඩුබායි තණතිල්ලේ පළමුව පන්දුවට පහරදීමේ වාසියද නොසලකා හැරිය නොහැකිය. මෙවර තරගාවලියේ තරග 14කින් නවයක්ම ජයගෙන ඇත්තේ පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායම්ය. එමෙන්ම තරගාවලියේ ලකුණු 150 සීමාව ඉක්මවා ඇති ඉනිම් දෙකම ඉන්දියාව විසින් වාර්තා කර තිබීමද ඔවුන්ගේ පිතිකරණ ශක්තිය පෙන්වන තවත් සාධකයකි.
ශ්රී ලංකා ක්රිකට් වාර්තාකරණය මත පදනම්ව
